ගිලිහී යමින් තිබූ අපේ කම මතු රැකෙන පරිදි දෛනිකව කටයුතු කිරීමට සිංහලයන්ට මතක් කර දී සරල චාම් දිවි පෙවෙතකට මගපෙන්වීම ගම් දනව් වල රැස්වීම පවත්වා “ගමයි පන්සලයි වැවයි දාගැබයි” යන සංකල්පය යටතේ යළි හෙළ ප්‍රජාව පෙළගස්වා අදීන ජාතියක් වශයෙන් සමාජගත කිරීම. අනාගත පරපුරට නිවහල්ව ජීවත් වීමේ අයිතිය උදාකරදීම “ආයුබෝවන්” යන දීර්ඝායු ප්‍රාර්ථනය භාවිතයට ගැනීමට අවධානය යොමු කිරීමට අධිෂ්ඨානය ඇති කිරීමට මූලික උත්සාහයක යෙදුනේ ය. සදාචාර සම්පන්න සමාජයක් යළි ඇති කිරීම මෙහි අරමුණ විය.
1990 දශකය වන විට මෙරට ජාතික ආර්ථික උරුමයේ බහුතරය විජාතිකයන්ට අත්ව තිබිණි. 1977 ගෝලීය ආර්ථික ප්‍රවාහයත් සමඟ මේ තත්ත්වය උදාවී තිබිණ. එය ජාතියේ ස්වාධීනත්වයට බරපතළ අනතුරක් බව වටහාගත් වීර විදහන “අපේ කම රැක ගත් අපේ දේ අරගන්න” යැයි ව්‍යාපාරික ප්‍රජාවත්, පාරිභෝගික ප්‍රජාවත් දැනුවත් කළේය. එම හේතුවෙන් අද එහි නව අවදිවීමක් සහිත මල් ඵල දැරීමක් ඇතිවී තිබේ. මේ වන විට රාජ්‍ය මට්ටමෙන් ද දේශීය ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළට පියවර තබා සිටීම සතුටකි.
“බස නැතිදා රැස නැතිවේ” යැයි යන්න විද්වත් මතයකි. බස මැකීම මගින් රැස මැකීමේ කූට ව්‍යාපාරයත් ” පුංචි පවුල රත්තරන්” යන දරු උපත් වැළකීමේ කුමන්ත්‍රණයත් ඉතා සියුම් ලෙස ජාතියට කාවද්දා තිබිණි. අන්‍ය ජාතීන් තම බසත් රැසත් රැක ගනිද්දී සිංහලයා පමණක් එම මරඋගුල් වල පැටලී වල්මත් වී සිටින්නේ ඒ අනාගත ඵල විපාක සිංහලයාට පෙන්වා දී ජාතිය නිවැරදි මාර්ගයට යොමු කිරීමට ගත් මහන්සිය ද අපතේ නොගිය කාරණයකි. බස හා රැස නැසූමට ගෙනයන උත්සාහය වටහාගෙන විද්වත් පිරිස් බස රැස රැක ගැනීමට ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත.